2019 ලෝක කුසලානෙට අපේ කොල්ලන්ට මෙන්න මේ තරග වලින් ජය ගන්නම වෙනවමයි

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනීමේ තරගාවලිය ලබන වසරේ මාර්තු මාසයේ සිම්බාබ්වේ හිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කළා.

පසුගිය සැප්තැම්බර් 30 වන දා කාලවිරාමය අවසන් වන විට අයි.සී.සී. එක්දින දර්ශකයේ මුල් ස්ථාන 8 හිමි කර ගත් කණ්ඩායම් ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව ද එහිදී අවදානමකට ලක්ව සිටිය ද බටහිර ඉන්දීය කොදෙව් පිළ එංගලන්ත සංචාරයේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට අපොහොසත්වීම නිසා මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමට සිදුවනවා.

කොදෙව් පිළ මෙන්ම අයි.සී.සී. එක්දින දර්ශකයේ අවසන් ස්ථාන හිමිකරගෙන සිටින සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත කණ්ඩායම්වලට සිම්බාබ්වේ හි පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇති. ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ ඉදිරියෙන් සිටින නෙදර්ලන්ත, පැපුවානිව්ගිනියා, ස්කොට්ලන්ත සහ හොංකොං කණ්ඩායම් ද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

මේ අතර ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ලීග් තරඟාවලි පැවැත්වීම සඳහා ICC අනුමැතිය පසුගියදා හිමිවුණා.

එම අනුමැතිය හිමිවූ නව එකඟතාවට අනුව ඉදිරි ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව වසර දෙකක් පුරා ටෙස්ට් කණ්ඩායම් 9 ක් තරඟවැදීමෙන් අනතුරුව ටෙස්ට් ශුරතාවය සඳහා තරඟයක් පැවැත්වෙනු ඇති.එම ටෙස්ට් ලීග් තරඟ සඳහා සුදුසුකම් ලබන්නේ ඒ වනවිට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් හි පළමු කණ්ඩායම් 9 යි.එහිදී 2021 වසරේ අප්‍රේල් මාසයේ ටෙස්ට් ශූරතාවය සඳහා වූ අවසන් තරඟය පැවැත්වෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ එම වසර දෙක තුළ පැවැත්වෙන තරඟ වලට අනුව මුල්තැන හිමිකරගන්නා කණ්ඩායම් දෙකයි.

මෙහිදී අදාළ වසර දෙක තුළදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6 ක්‍රීඩා කළයුතු වනවා.ඒ තම රටේදී තරඟාවලි 3 ක් සහ විදෙස් සංචාරයන් හිදී තරඟාවලි 3 ක් බැගින්.මෙම එක් ටෙස්ට් තරඟාවලියක් සඳහා අවම වශයෙන් තරඟ 2 ක් තිබිය යුතු අතර එහි උපරිමය තරඟ 5ක්.එක්දින ලීග් තරඟාවලිය සඳහා රටවල් 13 ක් වසර දෙකක් ක්‍රීඩා කරනු ඇති අතර ඉන් සුදුසකම් ලබන කණ්ඩායම් 2023 ලෝක කුසලානයට තරඟවදිනු ඇති.මෙහිදී එක් රටක් එම කාලය තුල තරඟාවලි 8 ක් ක්‍රීඩාකලයුතු වනවා.එම එක් තරඟාවලියක අවම වශයෙන් තරඟ තුනක් ක්‍රීඩා කලයුතු බවයි නව එකඟතාවයේ සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *